ශී‍්‍ර ලංකාවෙන් වඳවී යන්නට ඇතැයි සිතා සිටි අති දුර්ලභ උඩවැඩියා විශේෂයක් වසර 153 ට පසු සොයා ගැනීමට හැකි වූ බව උඩවැඩියා මල් වර්ග පිළිබඳ පර්යේෂකයකු වන අජන්ත පලිහවඩන මහතා පවසයි.
මෙලෙස සොයාගෙන ඇත්තේ වර්ෂ 1861 දී හුන්නස්ගිරියේ දී පළමු වරට වාර්තා කරන ලද උඩවැඩියා මල් විශේෂයකි. මෙරට මල් වර්ග ගැන පර්යේෂණයක නිරතව සිටි තවෙස්සි නමැති උද්භිද විද්‍යාඥයකු විසින් මේ මල් විශේෂය මුල් වරට හඳුනාගැණිනි. එය එකළ ඇරිඩස් ටෙසාලටුම් යනුවෙන් උද්භිද විද්‍යාත්මකව නම්කැර තිබිණි.
ඉන් පසු කිසි දිනක මෙරටින් සොයාගත නොහැකි වූ මේ ශාකයේ පළමු නිදර්ශකය පවා විනාශ වී ගොස් තිබූ අතර පේරාදෙණිය උද්භිද උද්‍යාන ශාකාගාරයේ චිත‍්‍ර ශිල්පියකු වූ අල්විස් මහතා විසින් අඳින ලද චිත‍්‍රයක් පමණක් ඇත. මේ චිත‍්‍රය පදනම් කැරගනිමින් උද්භිද විද්‍යාඥ ජේ.ඞී.හූකර් එය පළමුවරට සොයාගත් තවෙස්සි මහතාට ගෞරවයක් ලෙස වැන්ඩා තවෙස්සි ලෙස යළි නැම්කැර තිබිණි.
අජන්ත පලිහවඩන මහතා පවසන්නේ 2010 වර්ෂයේ දී කුරුණෑගල නගරයේ දී ශාක කඳන් පටවාගෙන යමින් තිබූ අත් ට‍්‍රැක්ටරයක වූ කොටයක ඕකීඞ් පැල කිහිපයක් දුටු බවයි. මේ පැල සුලබ වැන්ඩා විශේෂයක් වන ටෙස්ටේසියා විශේෂයට අයත්යැයි ඔහු තීරණය කැර තිබිණි. එහෙත් ඒ පැල අතර වෙනස් ස්වභාවයක් ගත් පැලයක් ද දුටු හෙතෙම මේ පැලය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකැර තිබිණි.
වසර හතරකට පසු එහි මල් හටගත්තේය. උඩවැඩියා කැපුම් මල් සඳහා නව විශේෂ බිහිකරන්නකු ද වන පලිහවඩන මහතා මෙතෙක් නොදුටු මේ මල උද්භිද උද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් සිරිල් විජේසුන්දර මහතා වෙත යොමුකිරීමට කටයුතු කර ඇත.
ශාකය පරීක්ෂා කළ සිරිල් විජේසුන්දර මහතා පවසන්නේ එය අදින් වසර 153 ට පෙර හුන්නස්ගිරියේ දී හඳුනාගත් වැන්ඩා තවෙස්සි නම් විශේෂය බවයි. ඒ අනුව මෙතෙක් ලෝකයෙන් තුරන්වී ඇතැයි සිතා සිටි ශී‍්‍ර ලංකාවට ආවේණික ඕකීඞ් විශේෂයක් තවමත් මෙරට තිබෙන බව තහවුරු වී ඇත.